Thursday, June 29, 2023

සිංහරාජය ඔබ නොදුටු පැතිකඩ

 මාගේ නගරය වන සුන්දර කලවාන නගරය නගරය ආරම්භයක් ලෙස පිහිටා තිබෙන සිංහරාජ වන අඩවිය පිළිබඳව අද කතිකාවත ගොඩනගමු .




ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුවා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවන බව යි. 1989 වසරේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. 

සිංහරාජය දිස්ත්‍රික්ක තුනකට මායිම්ව පිහිටා ඇති වනාන්තරයක් 

සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත්තේ මෙසේයි.

*දකුණු දිශාවෙන්- ගිං ගඟ සහ මහදොළ 

*උතුරු දිශාවෙන්- නාපොල දොළ සහ කොස්ගුලන ගඟ 

*බටහිර දිශාවෙන්- කළුකන්දාව ඇළ සහ කුඩව ගඟ 

*නැගෙනහිර දිශාවෙන්- මෝනිංසයිඩ් වතු යාය 

එසේම සිංහරාජ වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග 4ක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ එම මාර්ග හතර යි. 

1) දෙනියාය-පල්ලේගම මාර්ගය 

2) කලවාන-වැද්දාගල මාර්ගය 

3) රක්වාන-මෝනිංසයිඩ් මාර්ගය 

4) හිනිදුම-නෙළුව මාර්ගය 

කලවාන-වැද්දාගල මාර්ගය (Culture With kalawana)

සුන්දර කඳු මුදුන් කිහිපයකින් යුත් වනාන්තරයක් 

සිංහරාජ වනාන්තරය තුළ මීටර් 600කට වඩා උසකින් යුත් කඳු මුදුන් 5ක් පිහිටා තිබෙනවා. සිංහරාජයේ උසම ස්ථානය මීටර් 1171ක පමණ උසකින් පිහිටා තිබෙන හිනිපිටිගල කන්ද යි. පහත දක්වා ඇත්තේ සිංහරාජයේ උසම කඳු මුදුන් පහ යි.

1) කොස්ගුලන 

2) සිංහගල 

3) මුලා වැල්ල 

4) හිනිපිටිගල- නැගෙනහිර 

5) හිනිපිටිගල- බටහිර 

සිංහරාජ වනාන්තරය පිහිටා තිබෙන ප්‍රදේශයට මි.මී 3000-6000 අතර වර්ෂාපතනයක් ලැබෙනවා. එසේම එම ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 අතර පරාසයක පවතිනවා. මෙම ප්‍රදේශයට හොඳින් වර්ෂාව පතිත වන නිසා සුන්දර දිය ඇළි කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, දූව්ලි ඇල්ල, සහ ඌරා වැටුණු ඇල්ල එම දිය ඇළි කිහිපය අතරට අයත් වනවා.

සිංහරාජයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර 5කින් යුක්ත යි 

ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ හෙක්ටයාරයකට 240000ක පමණ ශාක ඝනත්වයක් දක්නට ලැබෙනවා. මෙහි දී දක්නට ලැබෙන දැවමය වටිනාකමක් ඇති ශාක විශේෂ 340 අතරින් ශාක විශේෂ 192ක්ම ලංකාවට ආවේණික ඒවා යි. එම ශාක විශේෂ 192ක අතරින් 15ක් දක්නට ලැබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ දී පමණ යි. එසේම මෙහි ඇති ශාකවලින් 75%ක පමණ ප්‍රමාණයක් මෙරටට ආවේණික ශාක විශේෂ යි. පහත දක්වා තිබෙන්නේ සිංහරාජ වනාන්තරය තුළ පිහිටා තිබෙන ශාක පද්ධතියේ ප්‍රධාන ස්ථර 5 පිළිබඳව යි. 

1) නෙරු ස්ථරය- දොරණ, හොර, භූ හොර වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා 

2) වියන් ස්ථරය-  බෙරලිය, ඇටඹ, බටු නා, වැලිපියන්න, කීන වැනි ශාකවලින්  පෝෂණය වී තිබෙනවා 

3) උප වියන් ස්ථරය- උබ්බේරිය, කිතුල්, ගල් හැඩවක, මලබොඩ, කටමොද වැනි ශාකවලින්  පෝෂණය වී තිබෙනවා 

4) යටි වියන් ස්ථරය- කුඩුම්බේරිය, මඩොල්, අතුකැටිය  වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා

5) බිම් ස්ථරය- මී වන, වැරණිය, කැප්පෙටිය, ගිණිහොට වැනි ශාකවලින් පෝෂණය වී තිබෙනවා

සිංහරාජයේ දී දක්නට ලැබෙන සතුන් වර්ග 

සිංහරාජය අවට ගම්වල සිටින ගම්වාසීන් පවසන්නේ අතීතයේ දී මෙම වනාන්තරය තුළ අලින් බහුලව සිටි බව යි. නමුත් වර්තමානය වන විට මෙහි සිටින අලි ගහණය විශාල ලෙස අඩු වී තිබෙනවා. නමුත් ගෝනා, කොළ දිවියා, ඕලු මුවා, වැනි සත්ත්ව විශේෂ රැසක් මෙම වනාන්තරය තුළ දී දැකගන්නට පුළුවන්. එසේම මෙරටට ආවේණික ක්ෂීරපායී සත්ත්ව විශේෂ‍යන් 12න් 8ක් මෙහි දී දක්නට ලැබෙනවා. තවද පක්ෂි විශේෂ 160ක් පමණ වාසය කරන මෙම වනාන්තරයේ ලංකාවට ආවේණික පක්ෂීන් විශේෂ 18ක් පමණ දැකිය හැකියි. හිස අළු දෙමලිච්චා, කැහිබෙල්ලා, සහ පතිගෝමර තිරාසිකයා එම කුරුළු විශේෂ අතරට අයත් වනවා. එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයන් සිටින අතර, ඉන් විශේෂ 21 කම ශී‍්‍ර ලංකාවට අවේණික යි. එලෙස ලංකාවට ආවේණික උරග වර්ග අතරට කටුසු විශේෂයන් කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන් ද අයත්. ඊට අමතරව අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ‍යන් දෙක ද සිංහරාජයේ දී දැකිය හැකියි. තවද මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා සහ පුංචි අං කටුස්සා සිංහරාජයේ දී හමුවනවා. 

අතිශය දුර්ලභ උභයජීවී විශේෂයන් 50ක් පම සිංහරාජයේ වාසය කරනවා. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම්වල පස් යට ජීවත් වනවා. එසේම ක්ෂීරපායීන් 40ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 20ක්, සහ සමනළ විශේෂ 65ක් පමණ සිංහරාජ වනාන්තරයේ දී හමුවනවා.

සිංහරාජය ආශ්‍රිතව සිදුවුණු පරිසර විනාශය 

සිංහරාජ වනාන්තරයට මුලින්ම ප්‍රවේශ මාර්ගයක් ඉදිකළේ 1963 වසරේ දී යි. ඒ වැද්දාගල සිට කුඩාව දක්වා යි. පසු කලෙක කැනඩාවේ රීඩ් කොලින්ග්ස් ඒකාබද්ධ සමාගමේ සහාය ඇතිව කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටුවා ඒ සඳහා අවශ්‍ය දැව ලබාගැනීමට සිංහරාජ වනාන්තරයේ උතුරු ප්‍රදේශයෙන් හෙක්ටයාර 5000ක පමණ බිම් ප්‍රදේශයක් වෙන් කර දැව හෙලීම් ආරම්භ කළා. එහි දී දැව කඳන් ප්‍රවාහනය කිරීම සඳහා විශාල යන්ත්‍ර භාවිතා කළා. එසේම අඩි 12-15ක පමණ ප්‍රමාණයෙන් යුත් දැව ප්‍රවාහන මාර්ග ද  ඉදිකරනු ලැබුවා. එලෙස 1972-1977 කාල සමයේ දී සිංහරාජය ආශ්‍රිතව සිදුවුණු දැවැන්ත පරිසර හානියට එරෙහිව මහජනයා දැඩි විරෝධයක් එල්ල කළා. එදා මහජනතාව විසින් එල්ල කළ දැඩි විරෝධය හමුවේ එම දැව හෙලීම් නතර කළා. නමුත් ඒ වන විටත් වනාන්තරයේ හෙක්ටයාර 2500කට ආසන්න බිම් ප්‍රමාණයක් විනාශ වී තිබුණා. එදා දැව ප්‍රවාහනය සඳහා ඉදිකළ මාර්ග අදටත් සිංහරාජය ආශ්‍රිතව දක්නට ලැබෙනවා. එසේම මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ඇතැම් මිනිසුන් ද වනය විනාශ කිරීම සිදු කරනවා. පසුගිය කාල සමයේ දී ඔවුන් විසින් සිදුකළ අහිතකර දේවල් පහත දක්වා තිබෙනවා.

1) සතුන් දඩයම් කිරීම 

2) ඇළ දොළ සහ ගංඟාවලින් අනවසරයෙන් වැලි ගොඩ දැමීම 

3) වල්ලාපට්ටා කැපීම 

4) දොරණ තෙල් ලබාගැනීම සඳහා ගස්වලට හානි කිරීම 

5) පැලෑටි ගැලවීම සහ බට වර්ග කැපීම 

ලෝක උරුමයක් බවට පත්වීම 

ජලපෝෂක ප්‍රදේශයක් ලෙස මෙම වනාන්තරයෙහි ඇති වැදගත්කම, ජෛව විද්‍යාත්මක වැදගත්කම සහ ඉන් සිදුකරන දැවැන්ත පාරිසරික පද්ධති සේවාවන් සලකා බලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ජාත්‍යන්තර මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කෙරුනේ 1978 වසරේ දී යි. 1988 වසරේ දී මෙහි ඇති ජාතික වැදගත්කම ගැන සකලා බලා ජාතික උරුමයක් ලෙසින් නම් කරනු ලැබුවා. ඉන් වසරකට පසුව එනම් 1989 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරා.



ලෝක උරුමයක් වන සිංහරාජ වන රක්ෂිතය තුළ සිදු වූ "ජෛව කොල්ලය" ඉතා සැලසුම් සහගත අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇතැයි විමර්ශනවල යෙදෙන වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

අදාළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

සිංහරාජ රක්ෂිතයේ කෘමි සතුන් සහ ශාක එක් රැස් කළ විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය සෙනසුරාදා ය (පෙබරවාරි02). අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

රාත්‍රී කාලය තුළ වන සතුන් සහ ශාක එක් රැස් කිරීම සඳහා ඔවුනට ලාංකිකයන් කිහිප දෙනෙකුගේ ද සහය ලැබී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර බීබීසී සිංහල සේවයට කියා සිටියේය

විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ස්ලෝවැකියානු ජාතිකයන් නවාතැන් ගෙන සිටි, සිංහරාජ රක්ෂිතය සමීපයේ පිහිටා ඇති 'මාටින්ස් ලොජ්හි' හිමිකරු මාටින් විජේසිංහගෙන් ද පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීහු ඉරිදා (පෙබරවාරි 03) කටයුතු කළහ.

සිංහරාජ රක්ෂිතය ආසන්නයේ දිවි ගෙවන මාටින් විජේසිංහ එහි පැමිණෙන පර්යේෂකයන් සහ පරිසරවේදීන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් ප්‍රචලිතය.

එමෙන් ම රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව විදේශිකයන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කෙරුණු අතර එහිදී වැදගත් සාක්ෂි රැසක් සොයා ගත් බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම 'මාටින්ස් ලොජ්' වෙත ඉරිදා ගිය අවස්ථාවේ විදේශිකයන් නවාතැන් ගෙන සිටි බව පැවසෙන කාමර පිරිසිදු කර තිබිණි

ගොඩනැගිල්ල ආසන්නයේ ඇතැම් ද්‍රව්‍ය පුළුස්සා තිබූ අතර එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන්ට නීති විරෝධී ලෙස අල්ලන ලදැයි විශ්වාස කෙරෙන මිය ගිය සමනලුන් බහාලූ කවරයක් හමු විය.

එම කවරය විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබූ කවරවලට සමාන බව විමර්ශන නිලධාරීහු පවසති

විදේශිකයන් කෙරෙහි තමන් තුළ මුල සිට ම සැකයක් පැවති බවත්, ඒ ගැන සෝදිසියෙන් සිට වන සංරක්ෂණ නිලධාරින්ට තොරතුරු ලබා දුන් බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් මාටින් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

එහෙත් වැටලීම කළ කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර කියා සිටියේ, මාටින් විජේසිංහ තොරතුරු ලබා දුන් බව කියන වන සංරක්ෂණ නිලධාරින් හරහා තමන්ට තොරතුරක් නොලැබුණු බවය.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන බව කී කලවාන අඩවි වන නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වෙත වෙනත් පාර්ශවයකින් ලැබුණු ඔත්තුවක් මත නවාතැන්පළේ සිට මීටර් 500ක් පමණ පහළ ප්‍රදේශයකදී විදේශිකයන් පිටව යන අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවය.

උපුටා ගැනීමකි.

Monday, June 12, 2023

 සීගිරිය 


අඩි 600 උස කන්දක් වටා ගොඩ නගා ඇති සීගිරිය සංකීර්ණය ක්‍රි.ව. 5 වැනි සියවසේදී ‍රටේ අගනුවර ලෙස ක්‍රියාත්මක විය. එය ක්‍රි.ව. 5 වැනි සියවසේදී ‍රජ කළ කාශ්‍යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාළිගය විය. මාළිගය පර්වතය මුදුණේ ඉදිව තිබූ අතර එයට පහළින් ඊජිප්තුවේ හා පර්සියාවෙ ජල උද්‍යාන සිහි ගන්වන, ඉතාමත් තියුණු ජ්‍යාමිතික සමමිතික බව අතින් ලොව එවන් අනෙකුත් ජල උද්‍යාන වල‍ට නොදෙවනි ජල උද්‍යාන විසිරී තිබිණි.

ඈත පෙරදිග රටවල පිහිටි පර්වත උද්‍යාන හා සමාන පර්වත උද්‍යාන ඒවා ඉදි කළ ශිල්පීන්ගේ කෞශල්‍යය පිළිබඳව මවිතය දනවයි. පෙරදිග චිත්‍ර කලාවේ ප්‍රතිමූර්තියක් වැනි සීගිරි බිතු සිතුවම්ද ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගීද සීගිරිය ලෝක පූජිත තත්ත්වයට පත් කර ඇත. මෙය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ


සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.

ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. පර්වතයේ සමතලා මතුපිට මාළිගාවක නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.

සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.

  • ප්‍රධාන අවධි
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)කා
  • ශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
  • පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
  • මහා නුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.


  • දක්නට ලැබෙන ලක්ෂණ
  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.
කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.
''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''
මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...
"මොකද්ද සීයේ උනේ...?"
මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)
ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.
අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.
එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.
මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.
මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.
හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.
මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.
සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.
ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.
අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.
විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)
ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම

සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.
මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

උපුටා ගැනිම 




සිංහරාජය ඔබ නොදුටු පැතිකඩ

 මාගේ නගරය වන සුන්දර කලවාන නගරය නගරය ආරම්භයක් ලෙස පිහිටා තිබෙන සිංහරාජ වන අඩවිය පිළිබඳව අද කතිකාවත ගොඩනගමු . ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම ස...